කරපිංචා වල ගුණ | Herbal.LK

කරපිංචා වල ගුණ

ව්‍යංජන රස ගැන්වීමේදී ලාංකීය සූපවේදයට නැතිවම බැරි රසකාරකයක් ලෙස කරපිංචා හඳුන්වා දීමට පුළුවන්. ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ සමහර අප්‍රිකානු රටවල මෙන්ම ඇමරිකාවේ සමහර ප්‍රදේශවලත් බහුල වශයෙන් කරපිංචා දක්නට පුළුවන්.
කරපිංචා ශාකය (Murraya Koenigii) මුරයා කෙනෙගි යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර (Rutaceae) රූටාසේ හෙවත් පැඟිරි කුලයට අයත් වෙයි. 
කරපිංචාවල අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධිරයේ LDL කොලෙස්‍ටරෝල් පාලනය කරන බව පරික්ෂණ මඟින් සොයා ගෙන ඇත. මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. එම නිසා මෙය හෘද රෝගීන් සඳහා දිව ඔසුවකි.
තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. 
කරපිංචා හොඳ ඔක්සිකාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විස ද දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලුකෝස් පාලනය කිරීමේ හැකියාව ද මෙයට ඇත. සර්ප විස ශරීරගත වු විට කරපිංචා කොළ, නැ‍ටි, පොතු කොටා මිරිකා හීනටි හාල් යොදා සාදාගන්නා කැඳ රෝගියාට ලබා දීම ඉතා ගුණදායකය.
 ඒ වගේම සර්පයන් දෂ්ට කළ ස්ථානයේ කරපිංචා කොළ, පොතු, මුල්, අමු කහ, ලුණු සමඟ කොටා බැඳීම මඟින් ඉක්මන් සුවයක් ලබාගත හැකියි.
කරපිංචාවල විටමින් A සහ C යහමින් අඩංගු වේ. නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනීමෙනි. පිසීමේදී බොහෝ විට විටමින් කොටස් විනාශ වී යනු ඇත.
කරපිංචා ඇට කොටා හිසට දැමීමෙන් උකුණන් වඳ වේ
කරපිංචා පත්‍ර හිසකෙස් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වේ. තෙල් සමඟ පත්‍ර යුෂ මිශ්‍ර කර ඔබේ හිසට යොදා ගැනීමෙන් හිස කෙස්වල කලු වර්ණය රඳවා ගැනීමට ද වර්ධනයටද හිස්සොරිවලින් ආරක්ෂාවට ද ආධාර වේ. කරපිංචා පත්‍ර කොටා යෝගට් සමඟ මිශ්‍ර කර හිසේ ගෑමෙන්ද මහඟු ප්‍රතිඵල ළඟා කරගත හැකිය.
ආහාර අජීර්ණය, කෑම අප්‍රිය වීම, බඩගින්න නැතිකම, බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම ආදී අවස්ථා තුරන් කිරීමේ හැකියාව කරපිංචා සතුයි. 
කරපිංචාවල අඩංගු විටමින් A මඟින් ඇස් පෙනීම වර්ධනය කරයි. ඒ වගේම වර්ණදේහ හානි වැළැක්වීම, ඇටමිදුළු ආරක්ෂා කිරීම සහ වෛරස් කාරකයන්ගෙන් සිරුර ආරක්ෂා කිරීමට කරපිංචා දායක වෙයි. කරපිංචා කොළ සමේ ආරක්ෂාව සඳහා උපකාරී වේ. කොළවල යුෂ පිළිස්සුම හා කෘමි දෂ්ට, ස‍මේ රෝගයන් සඳහා යොදා ගනී. කරපිංචාවලින් සාදා ගන්නා සම්බෝලය ශරීර‍යට ඉතා ගුණ දෙන අතර අනවශ්‍ය කොලෙස්‍ටරෝල්, මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි. හෘදයට හිතකරය. ඒ වගේම ස්නායු දුර්වල වීමේ, අර්ශස් සහ කල්ගිය හිසරදයට කරපිංචා ඉතාම ගුණදායකයි.
සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.සර්ප විෂවලදී කරපිංචා කොළ කැඳ බීමට දෙනු ලැබේ. මෙම විෂ නාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළකැඳ දීම සුදුසුයි.

 

Back to Top