විස්මිත බලයක් රැගත් හාතාවාරිය | Herbal.LK

විස්මිත බලයක් රැගත් හාතාවාරිය

හාතාවාරිය කියන්නේ දිව ඔසුවක් පරයන ගුණ සමුදායක් කැටි කොට ගත් ඖෂධයක්.
එසේ ම කොළ කැඳ සාදා ගැනීමේ දී බහුල වශයෙන් භාවිත කරන කොළ වර්ගයකි. ඉතාම පෝෂ්‍යදායක ආහාරමය පානයක්‌ වන කොළ කැඳ සාදා ගැනීමේ දී හාතාවාරිය කොළ යොදා පිළියෙළ කරගන්නා කැඳ ඉතා රසවත් ය. එසේම හාතාවරිය කොළකැඳ සිරුරට ඉතාම ගුණදායක ය.අපේ රටේ වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ හාතාවාරිය කොළ වුණත් හාතාවාරිය මුල් ද නිරන්තරයෙන් කෑමට ගත යුතුය.

ආයුර්වේදයට අනුව අපේ සිරුරේ බොහෝ පද්ධතීන් හොඳින් ක්‍රියාත්මක වීමට පෝෂණය කිරීමට හාතාවාරියවල පෝෂණ ගුණය ඔසු ගුණය උපකාරී වෙයි.ආයුර්වේදයේ දක්වන ආකාරයට හාතාවාරිය වාතය, පිත සමනය කරයි. එසේම බඩගින්න නැතිකරන අතර සිරුර පෘෂ්ටිමත් කිරීම සිදු කරයි. කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීමට කිරි දෙන කාන්තාවන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට,කාන්තා හෝර්මෝන සමතුලිත කිරීමට,පිරිමි ප්‍රජනන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කිරීමට, ජීර්ණ පද්ධතිය නීරෝගිව පවත්වා ගැනීමට,ස්වසන පද්ධතියේ තෙතමනය රැක ගැනීමට ,ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමට,ප්‍රතිඔක්සිකාරකවලින් පිළිකා ආදී බෝනොවන රෝගවලින් සිරුර ආරක්ෂා කරගැනීමට හාතාවාරිය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

හාතාවාරිය කොළ කැඳ වලින් කැඳ පිළියෙල කිරීමට ගෘහණියන් නිතර උනන්දුවක් දක්වනවා. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරිම නේත‍්‍ර රෝගවලට ගුණදායකය.
හාතාවාරිය කොළ කැඳ පිත් සමනය කරයි. වාත නාශකයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්තී‍්‍රන්ගේ ශ්වේත ප‍්‍රදරයට, අධික ඔසප් වීමට ගුණදායකය. එසේම හොඳ ශක්ති ජනක පානයක් ලෙස ද සැලකේ.
හාතාවාරිය රතුලූණු, ගොටුකොළ කැඳ පිස කිතුල් හකුරු සමඟ දීම රත් පිතට ඉතා ගුණදායකය. හාතාවාරිය කරපිංචා කොළපොතු කොටා මිරිකා යුෂ ගෙන පොල් කිරි දමා තණ හාල් දමා කැඳ පිස බීමට දීම (ලුණු නොදමා) සියලු සර්ප විෂ ට ගුණ දෙන බව ආයුර්වේදයේ දක්වා ඇත.

හාතාවාරිය රුව රැක ගැනීමටද භාවිතා කල හැකි ඖෂධයකි.හාතාවාරිය කුඩු මේස හැඳි 1 ක්, වදමල් කුඩු මේස හැඳි 1 ක්, රෝස වතුර තේ හැඳි 1 ක්, මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15 කට පසු සෝදා හැරීමෙන් තරුණ පෙනුම රැක ගත හැකි වේ.

Back to Top