තරුණ පෙනුම රැකගන්න වට්ටක්කා කන්න | Herbal.LK

තරුණ පෙනුම රැකගන්න වට්ටක්කා කන්න

වට්ටක්කා කුකබිටේසි කුලයට අයත් වසර 7,500 ක පමණ ඉතිහාසයක් ඇති ශාකයකි.මෙහි නිජ භූමිය මධ්‍යම අමෙරිකාවේ මෙක්සිකෝව ය.

වට්ටක්කා, කෙඳි බහුල ආහාරයකි. මේ නිසා, අනෙකුත් ආහාරවලට වඩා එහි ජීර්ණ ක්‍රියාවලිය සිදු වන්නේ සෙමිනි. එබැවින්, මේවා ආහාර මාර්ගයෙහි වැඩි වේලාවක් රැඳී පැවත, කුසගින්න ඇතිවීම අවම කරයි.

එසේ ම, වට්ටක්කා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරන නිසා, ශරීර බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයට ඉතා සුදුසු ආහාරයකි.

වට්ටක්කාවල ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බීටා කැරොටීන, හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය අවම කරයි. මේ නිසා, සම රැළි වැටීම අවම වී, තරුණ බව රැකේ.

එවිට වට්ටක්කා නිතරම පාහේ ආහාරයට ගන්නා අයවලුන්ගේ සමෙහි දීප්තිමත්භාවය හා සුසිනිදුකම මෙන් ම, තෙතමනය ද යහමින් ඇත.ඒ හේතුවෙන්, තරුණ පෙනුම රැකේ.

ඉතාම මෑතක දී කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනයෙන්, වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි බවට විද්‍යාඥයන් මත පළ කර ඇත.

වට්ටක්කාවල අඩංගු බීටා කැරොටින, කිහිප ආකාරයකින්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කිරීමෙහි ලා උපකාරී වේ. ඇසේ නිරෝගී භාවය, සමෙහි තරුණ බව රකින බීටා කැරොටින, ඉන් නොනැවතී පිළිකා ඇති වීමේ අවදානම පහත හෙළයි. විශේෂයෙන්ම වට්ටක්කාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කර උදාසීන කිරීම නිසා, පිළිකාවලට මුල් වන සෛල ඇති වීමේ අවදානම පහත හෙළයි.

කෙසේ වුව ද, දියවැඩියා රෝගීන්ට වට්ටක්කා ආහාරයට ගැනීමෙන්, ඇති වන අපහසුතා අවම වේ.

බොහෝ අය වට්ටක්කා ආහාරයට ගනිද්දී එකතු කරගනු ලබන්නේ වට්ටක්කා ගෙඩිය පමණි.

නමුත් වට්ටක්කාවල කොළ සහ දලුවලද ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතව පවතී.

එමෙන්ම වට්ටක්කා දලු සහ කොළ මිශ්‍ර ආහාරයද ඉතා රසවත් වේ. රෝග රැසකට  ලොකු ගුණයක් මෙමගින් ලැබේ.

වට්ටක්කා කොළ කෝප්ප එකකින් ඔමේගා 6 මේද අම්ලය මිලිග්‍රෑම් 3.9, ප්‍රෝටීන් ග්‍රෑම් 1-2, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 0.9ක් සම්පූර්ණ මේදය ග්‍රෑම් 0.2ක්ද ලබාගත හැක. එමෙන්ම වට්ටක්කා කොළවල විටමින් ඒ වැඩි වශයෙන් අඩංගු වේ. ඊට අමතරව විටමින් සී යම් ප්‍රමාණයක්ද අන්තර්ගත වේ.

වට්ටක්කා කොළ ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයට සීනි උරා ගැනීම අඩුය. මේ නිසා වට්ටක්කා කොළ දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. කොළවල පවතින කහට රස නිසා සීනි ප්‍රමාණය අඩු කරයි.

විටමින් ඒ ඉතා යහමින් පවතින නිසා වට්ටක්කා කොළවල පිළිකා නාශක ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද ඇත. මෙහි කොලෙස්ටරෝල් සහ මද්‍යසාර අන්තර්ගත නැත. වට්ක්කා කොළවල ඇති විටමින් ඒ සංඝටකය නිසා ඇස් පෙනීම දියුණු කරයි. හිසකෙස් සහ නියවලට ඉතා ගුණදායක වේ. මෙහි කැල්සියම් හොඳින් ඇති නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග සඳහා වට්ටක්කා කොළ ඉතා සුදුසුය.

ශරීරයේ ඇතිවිය හැකි කම්පන තත්ත්ව සහිත රෝගාබාධ පාලනය කරයි. රුධිර නාළ තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම අඩුකරයි. වන්ධ්‍යාභාවය තුරන් කර සරු බව ඇති කරයි.

Back to Top